විශ්මිත ගුණ සපිරි මුරුංගා. (Moringa) “The Miracle Tree”

Moringa oleifera”යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුරුංගා, වසර දහස් ගණනක සිට පැවත එන ස්වභාවික ශාකයක්.ඉන්දියාවේ හිමාලය ආශ්‍රිතව සම්භවය වූ බව සැලකෙන මෙය ආසියානු සහ බොහෝ අප්‍රිකානු රටවලද ලෝකයේ අනෙකුත් නිවර්තන සහ උප නිවර්තන කලාප වලද ව්‍යාප්තව පවතිනවා.

ශ්‍රී ලංකාවේ වියලි සහ අතරමැදි කලාප වල ස්වාභාවිකවම හොදින් වැඩෙන, අනෙකුත් බොහෝ ප්‍රදේශ වලද වගා කල හැකි මුරුංගා, එළවළුවක් ලෙස නම් බොහොම ජනප්‍රිය ආහාරයක්. නමුත් බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවෙන මුරුංගා ශාකයේ වෙනත් විශ්මිත වටිනාකම් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට “අස්වැන්න” අපට සිතුනා.

පෝෂණීය අගය සම්බන්ධයෙන් මුරුංගා ශාකයේ ඇති විශ්මිත බව නිසාම එය “The Miracle tree” සහ “The never die tree” යන අන්වර්ථ නම් වලින්ද හඳුන්වනවා. එහි ඇති පෝෂණීය වටිනාකම කෙතරම්ද යත් ඒ පිළිබඳව ලෝකයේ මේ වන විටත් පර්යේෂණ ලිපි දහස් ගණනක් පල කර ඇති අතර තවත් පර්යේෂණ රැසක් ක්‍රියාත්මක වෙමින්ද පවතිනවා. මුරුංගා ශාකයේ පත්‍ර විශ්මයජනක පෝෂණීය ගුණ සහ ඖශධිය ගුණ දරන බව අද වන විට ලොවම පිළිගත් කරුණක්. එම නිසා මේ ශාකය super food කාණ්ඩයට අයත්. එනම්, ලෝකයේ පෝෂණීය ගුණයෙන් පොහොසත්ම ශාක අතුරින් එකක් ලෙසයි සැලකෙන්නේ..

මුරුංගා පත්‍ර විටමින් A බහුලතම ආහාරයක්. නැවුම් මුරුංගා කොළ ග්‍රෑම් 100 ක අඩංගු විටමින් A ප්‍රමාණය අපගේ දෛනික අවශ්‍යතාව මෙන් කිහිප ගුණයක්.

කැරොටීන් නැත්නම් විටමින් A බහුල ආහාරයක් ලෙස බොහෝ දෙනා කැරට් හඳුනාගෙන තිබුනත්, එහි අඩංගු විටමින් A ප්‍රමාණය මෙන් 4 ගුණයක් මුරුංගා කොළ වල අන්තර්ගතයි.

විටමින් A අපේ ඇස් වල නිරෝගී බව සඳහා අත්‍යවශ්‍යයෙන්ම උපකාරී වන අතර සමෙහි සහ අස්ථි වල නිරෝගී බවට මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට සහ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ඉතාම වැදගත්.


මුරුංගා කොළ ශරීරයට ඉතාම හොඳ විටමින් C මුලාශ්‍රයක්. නැවුම් පත්‍ර ග්‍රෑම් 100 ක අඩංගු විටමින් C ප්‍රමාණය 51.7mg පමණ වෙනවා. එය අපගේ දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 70% – 80% තරම් ඉහල අගයක්.

අප අතර ජනප්‍රියම විටමින් බහුල ආහාරයක් වන්නේ දොඩම්. එහෙත් දොඩම් වල මෙන් 7 ගුණයක් පමණ විටමින් C මුරුංගා කොළ වල අඩංගු වෙනවා.

ප්‍රභල ප්‍රතිඔක්සිකරකයක් සේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය සඳහාත් ප්‍රධාන වශයෙන්ම වැදගත් වන විටමින් C, අපේ ශරීරයේ නිරෝගී පැවැත්ම සඳහා අතිශය වැදගත් බව සැවොම දන්නා කරුණක්.

පෝෂණීය ගුණයෙන් ඉහල පානයක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය “කිරි” සමග සංසන්දනය කල විට කිරි වල මෙන් දෙගුණයක් පමණ ප්‍රෝටීන් මුරුංගා කොළ වල අන්තර්ගත වෙනවා.නැවුම් පත්‍ර ග්‍රෑම් 100 ක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය 9.4g ක්.

එසේම කිරි වල මෙන් 4 ගුණයක් කැල්සියම් මුරුංගා කොළ වලින් ශරීරයට ලබා ගන්න පුලුවන්. පත්‍ර ග්‍රෑම් 100 ක අඩංගු කැල්සියම් ප්‍රමාණය 185mg. එය අපේ දෛනික අවශ්‍යතාවයෙන් 19% ක් පමණ වනවා.

B කාණ්ඩයේ විටමින අපගේ ශරීරයේ ක්‍රියාකාරී පැවැත්මටත්, නිරෝගී බවටත් ඉතාම වැදගත්. විටමින් B ඌනතාව නිසා විවිධ රෝගකාරී තත්වයන්ට මුහුණපාන්නට සිදුවන බවත්, එවිට විටමින් පෙති විදියට ශරීරයට ඒවා ලබා ගන්නට සිදුවන අවස්ථා ඔබ දැක ඇති.

Thiamine (vitamin B1)

Riboflavin (vitamin B2)

Niacin (vitamin B3)

Pantothenic acid (vitamin B5)

Pyridoxine (vitamin B6)

වැනි B ඛාණ්ඩයේ විටමින බහුල ආහාරයක් ලෙස මුරුංගා කොළ සලකන්න පුළුවන්.

ශරීරයේ ඔක්සිජන් ප්‍රවාහකයා වන්නේ රතු රුධිර සෛල වල අඩංගු හිමොග්ලොබින්. යකඩ කියන්නේ එහි ප්‍රධාන සංඝටකයක්. යකඩ බහුල ආහාරයක් වන මුරුංගා පත්‍ර ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය යකඩ ලබා ගන්න පුළුවන්. ශරීරයට අවශ්‍ය යකඩ අඩංගු ආහාරයක් ලෙස ජනප්‍රිය නිවිති වල වගේ කිහිප ගුණයක යකඩ ප්‍රමාණයක් මුරුංගා කොළ වල අන්තර්ගතයි. නැවුම් පත්‍ර ග්‍රෑම් 100 ක යකඩ 4mg අඩංගු වන අතර එය අපගේ දෛනික අවශ්‍යතාවයෙන් 30% ට ආසන්න අගයක්.

එසේම මැග්නීසියම්,පොටෑසියම්, පොස්පරස් වගේ අනෙකුත් ඛනිජ වර්ගත් මුරුංගා කොළ වල යහමින් අන්තර්ගතයි.

ලස්සන ගැන සැලකිලිමත් වන අයටත් මුරුංගා කොළ හොඳ සත්කාරයක් වේවි. එහි විටමින් E අඩංගු වන නිසා හිසකෙස් වල සහ සමෙහි නිරෝගී බවට වැදගත්වන පෝෂණීය ආහාරයක් වගේම ආලේපනයක්.

මුරුංගා ඇට වලින් තෙල් නිෂ්පාදනය කරන බව බොහෝ දෙන නොදන්නා කරුණක්. ඒවා රුපලාවන්‍ය නිෂ්පාදන වලට වගේම ආහාර පිසීම සඳහාද යොදා ගන්නවා. ලෝකයේ ඉහල මිලක් ඇති තත්වයෙන් උසස් රුපලාවන්‍ය නිෂ්පාදන අතර මුරුංගා වලින් සෑදු නිෂ්පාදනද දැක ගන්නට පුලුවන්.

තවමත් බොහෝදුරට වසවිසෙන් තොර එළවළුවක් ලෙස දේශීය වෙළඳපොලෙන් මිලදීගත හැකි මුරුංගා කරල් කාගේත් කැමැත්ත දිනා ගත් ආහාරයක්.

ශ්‍රී ලංකාවේ මෙන්ම සම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයන් හිමි රටවල් කිහිපයකම පාරම්පරික වෛද්‍ය ක්‍රම අතර මුරුංගා ගසෙහි මුල්,පොතු, කොළ, මල් ආදී සියලු අංග භාවිතයට ගැනෙන්නේ එහි ඇති විශේෂිත ඖෂධිය ගුණය නිසාවෙන්.

මෑත කාලීනව මුරුංගා ආර්ථික වගාවක් ලෙස ජනප්‍රිය වෙමින් පවතිනුයේ එහි ඇති විශ්මය දනවන පෝෂණීය අගය නිසයි. වෙසෙසින්ම මුරුංගා පත්‍ර පිසින ලද ආහාරයක් ලෙසින් මෙන්ම වියළි කුඩු (powder) ආකාරයෙන් අහාර වලට එක්කර ගන්නටත්, පානයක් ලෙස සකසා පරිභෝජනය කරන්නටත් එහි ගුණ පිළිබඳව දැනුම ඇති අය උත්සුක වනවා.

එම ප්‍රවනතාව කෙතරම්ද යත්, powder ආකාරයෙන් සහ මුරුංගා කොළ වලින් සෑදු පෙති(tablet) සහ කරල්(capsule) වශයෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කෙරෙනවා.



විශේෂයෙන්ම මුරුංගා පත්‍ර වල ඇති විශ්මිත ගුණය පිළිබඳව සිහිපත් කරමින් මේ ලිපිය සැකසුවත්, මුරුංගා ශාකයේ වටිනාකම් මෙවන් කෙටි ලිපියකින් ලඝු කොට දැක්විය නොහැකියි. එබැවින් අන්තර්ජාලයේ සරමින් තවදුරටත් එහි වටිනාකම පිළිබඳව දැනුවත් වන්නට පාඨක ඔබට ඇරයුම් කරනවා.

එමෙන්ම ඉන්දියාව වැනි රට වලින් ආනයනය කෙරෙන අඩු ගුණාත්මයෙන් යුත් මුරුංගා පත්‍ර ආශ්‍රිත නිෂ්පාදන(tablet, capsule වැනි) මිලදී ගන්නට මේ ලිපියෙන් කිසි විටෙකත් ඔබව දිරිමත් නොකෙරෙන අතර, ශ්‍රී ලංකාවේ බොහෝ පරිසර තත්ත්ව යටතේ ඉතාම පහසුවෙන් වගා කල හැකි සහ නඩත්තුවකින් තොරවම පවත්වාගත හැකි ශාකයක් වන මුරුංගා ගසක් ඔබගේ පරිශ්‍රයේත් වගා කර ගැනීම මිල කල නොහැකි ආයෝජනයක් වනු ඇති බව සිහිපත් කරමු.

තවද, ව්‍යවසායකයෙකු ලෙස මුරුංගා ආර්ථිකව වගා කරමින් අගය එකතු කල නිෂ්පාදන ලෙස ඉතා ඉහල ගුණාත්මයකින් සහ සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට යොමු කිරීමට සුදුසු විභවයක් පවතින බවද සිහිපත් කරන්නෙමු.

හිමිකම් සහ භාවිත කිරීමේ නියමයන්

කතුහිමිකම: © Yaya Agro (Pvt) Ltd සහ © Aswanna Ceylon Agro (Pvt) Ltd. මෙම වෙබ් අඩවිය සහ එහි පිටුවල අන්තර්ගත ඡායාරූප සහ වෙනත් සියඵ තොරතුරු Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් සතු දේපළ වන අතර ඒවා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය මගින් ආරක්ෂා කෙරේ. මෙහි විධිවිධාන සළසා ඇති පරිදි හැර, Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd. සමාගම් වල ප්‍රකාශිත ලිඛිත අවසරය ඇතිව මිස වචන, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය කරුණු ඇතුලත්ව එහෙත් ඒවාට සීමා නොවෙන පරිදි මේ වෙබ් අඩවියේ කිසිඳු කොටසක් කවර ආකාරයකින් හෝ කවර කාර්යයන් සඳහා හෝ භාවිත නොකළ යුතුය. Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් වල පූර්ව ලිඛිත කැමැත්ත ලබා නොගෙන මෙම වෙබ් අඩවියේ ඇතුළත් යම් කරුණක් භාවිත කරන්නන් විසින් පිටපත් කිරීම, වෙනස් කිරීම, විකිණීම, බෙදා හැරීම, යොදා ගැනීම, පළ කිරීම, සකස් කිරීම, ප්‍රති නිර්මාණය කිරීම හෝ අන්‍යාකාරයට භාවිත කිරීම නොකළ යුතුය.

අධ්යාපනික අරමුණු සඳහා සාධාරණ භාවිතය සඳහා වන ප්රකාශන හිමිකම් පනතේ 107 වගන්තිය යටතේ සහ 2001 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (අංක 12) යටතේ ඇතැම් ඡායාරූප භාවිතා වේ. ඔබේ ඡායාරූප වල හිමිකම් අයිතිය උල්ලංඝනය කර ඇති බව ඔබ සිතන්නේ නම් කරුණාකර අපව අමතන්න.

Close Menu
error: Content is Protected © Yaya.lk