කෘෂි නිෂ්පාදන වල මිල සැබවින්ම ගොවියන්ට බලපානවාද ?

Dambulla Market

ලංකාවේ වර්තමානයේ ඉතාමත් කතාබහට ලක්වන මාතෘකාවක් වන අස්වනු මිල පහල යාම සම්බන්ධව වෙනස් ආකාරයක විසදුමක් සහ දැක්මක් අවශ්‍ය වන කාලයක් තමා මේ.මේ වන විට අපනයන බෝග (ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, එනසාල්, ඉගුරු, කරාඹු) වල අස්වනු මිල පහල ගොස් ඇත. මේ නිසා අපනයන බෝග වගා කරුවන් මේ සම්බන්ධව විවිධ මැසිවිලි සහ මත පල කරන අතර ව්‍යාපාරිකයන් සහ මිල සම්බන්ධ අදහස් දක්වන්නන් ද මේ සඳහා විවිධ මත පල කරයි. පසුගිය වසර වල ගම්මිරිස් මිල රුපියල් 1200 ට වඩා වැඩි මිලකට අලෙවි වූ අතර අද වෙනවිට මිල රුපියල් 600 වඩා පහල අගයක් ගනී. නමුත් වැනිලා වගේ බෝග වල අස්වනු මිල පසුගිය වසරේ කිලෝ එකක මිල 500 සිට 5000 දක්වා වැඩි වී ඇත. නමුත් ගම්මිරිස් වගා කරුවන් මේ වන විට ඔවුන්ගේ මිල සම්බන්ධව අප්‍රසාදය පල කරමින් සිටිනවා.

මේ ලිපියෙන් විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන්නේ අපනයන බෝග වල අස්වනු මිල ගැන පමණක්ම නොවේ. අප කතා කරන්න හදන්නේ ලංකාවේ සියලු බෝග වල අස්වනු මිලේ උච්ඡාවචනය සහ එමගින් ගොවියාට වගේම පාරිභෝගිකයාට ඇතිවෙන බලපෑම සම්බන්ධවයි. වරින්වර විවිධ භෝග වල අස්වනු මිලෙහි සිදුවන විශාල වෙනස්වීම් සඳහා හේතුන් අප සොයා බැලිය යුතුය. ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතුන් කීපයක් ගැන අපට කතා කරන්න පුළුවන්.

  1. වෙළදපොළ වෙත ලැබෙන අස්වනු ප්‍රමාණයේ අඩුකම
  • මේ සඳහා හේතු කීපයක් බලපානවා එක හේතුවක් තමයි පවතින කාලගුණ විපර්යාසයන්.(අධික වර්ෂාව සහ නියගයෙන්) වගාවන් සඳහා ඇතිවූ බාධා නිසා වගාවන්ගේ අස්වනු අඩු වශයෙන් වෙලදපොලට පැමිණීම හේතුවෙන් ඇතිවන අස්වනු හිගය නිසා අස්වනු වල මිල ඉහල යයි.
  1. වෙළදුන් විසින් මවාපාන ලද අස්වනු හිගය මෙන්ම රැල්ලට වැඩිවන අස්වනු මිල.
  • සමහර අවස්ථාවල අස්වන සත්‍ය වශයෙන්ම වෙලදපොලේ ඇතත් වෙළදුන් සහ අතරමැදියන් විසින් වෙළදපොල තුල මිල ඉහල දැමීමක් සිදු කරයි. එමෙන්ම වෙළෙන්දාගෙන් මිලදී ගන්න මිලට වඩා වැඩි ප්‍රමාණයක ලාබයක් ලබා ගැනීමද මෙමගින් අතර මැදියන් සිදු කරයි. එක ප්‍රදේශයක ඇතිවන අස්වනු හිගය නිසා වෙලදපොලේ ඇතිවන මිල ඉහළයාම රැල්ලක් ලෙස අස්වනු බහුල ප්‍රදේශ වලත් ඇතිකරවයි. මෙය බොහෝ වෙලාවට අතරමැදියන් සහ වෙළදුන් විසින් සිදු කරන අතර ගොවින්ද මෙම කාරණය සම්බන්ද යම් වගකීමක් දැරිය යුතුය.
  1. ගොවීන්ගේ අත්තොනෝමතික වගා ක්‍රමයන්
  • කෙටි කාලින බෝග සහ කන්න බෝග වල මිල ඉහල පහල යාම සඳහා බලපාන ප්‍රධානම කාර්යය වන්නේ මෙයයි. ලංකාවේ ගොවීන්ගේ කිසිම සංවිධානාත්මක වගා ක්‍රමවේදයක් නෑ. ඒ වගේම රජය විසිනුත් ඒ සඳහා ප්‍රායෝගික මෙහෙයවීමක් දකින්න නෑ. මේ දිනවල වෙලදපොලේ මිල ඉතා ඉහල අගයක් ගන්න භෝගයක් වෙත අවධානය යොමු කිරීම නිසා ගොවින් බොහොමයක් එය තමන්ගේ මීලග වගාව ලෙස තෝරා ගන්නවා.. එහෙත් තව මාස කීපයකින් එම භෝගයේ මිල ඉක්මනින් පහල බහිනවා. ගොවින් හැම වෙලේම කෙටි කාලින සැලැස්මකින් වැඩි ලාබයක් ගන්න හදනව මිසක් පැවැත්මක් ඇති සැලැස්මකට යන්න බලන්නේ නෑ. ගම්මිරිස් සඳහාද මේ කාරනේ බලපානවා. පහුගිය වසර වල රජය විසින් ක්‍රියාත්මක කල ගම්මිරිස් ප්‍රවර්ධන වැඩසටහන් නිසා ඇති වූ නව වගාවන්ගේ අස්වනු කෙමෙන් කෙමෙන් වෙළදපොලට ලැබීම නිසා වෙළඳපොල තුල විශාල අස්වනු ප්‍රමාණයක් එක වෙනවා. ඒ හේතුවත් අස්වනු මිල පහල යන්න හේතුව වෙනවා. එමෙන්ම දේශපාලකයන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ හිතවතුන්ගේ කුඨ උපාය සහ පටු පරමාර්ථයන්ද ගැටලුව දෙගුණ තෙගුණ කරවනවා. තවද ඉදිරි වසර 5 තුල ගම්මිරිස් අස්වැන්න වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීම නිසා අස්වනු මිලේ විශාල ගැටළු ඇතිවෙන්න පුළුවන්.

මේ හා සමාන කරුණු රැසක් අස්වනු මිල ඉහල පහල යාම සඳහා බලපානවා නමුත් මේ කතා කරන්න හදන්නේ අස්වනු මිලෙහි ඉහල පහල යාම සම්බන්දවම නෙමෙයි. අස්වනු වල මිල තීරණය කිරීමට ගනු ලබන සාධක වල සාධාරනත්වයක් තියනවද නැද්ද කියන එක. ඒ සඳහා අප දැන ගත යුතු ප්‍රධාන කරුණ තමයි අස්වනු වල නිෂ්පාදන වියදම. අප ඒ සඳහා පහත අස්වනු වල නිෂ්පාදන වියදම් වගුවකින් පෙන්නලා තියනවා.

අස්වනු වල නිෂ්පාදන වියදම සහ අස්වනු මිලෙහි හැසිරීම (මෙහි දක්වා ඇති මිල තොග මිල වන අතර හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පුහුණු මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන් වලින් සාමාන්‍ය අගයක් ලෙස සලකා ඇත.)

මෙම මිල එක්තරා ආයතනයක් විසින් මිට වසර කිහිපයකට පෙර ඉදිරිපත් කර වාර්තාවක සඳහන් මිල ගණන් වන අතර මේ මිලෙහි රුපියල් 5ක පමණ මිල ඉහල හෝ පහල යාමක් අදට ආදේශ කරගත හැක. නමුත් සමස්තයක් විදියට ගත්තාම බොහොමයක් එළවලු වල නිෂ්පාදන වියදම රුපියල් 20 වඩා අඩු අගයක් ගන්නවා නමුත් වෙළදපොල විකිණුම් මිල නිෂ්පාදන මිල වගේ කීප ගුණයක් වෙනවා. උදාහරණයක් විදියට මිරිස් වල නිෂ්පාදන වියදම ආසන්න වශයෙන් රුපියල් 25 ලෙස ගත්තත් වර්තමාන වෙළඳපොල විකිණුම් මිල නිෂ්පාදන වියදම වගේ 40ක් ගුණයක්. ඇත්තටම මෙහි සාධාරනයක් තියනවද? මෙහි සියලු ලාබය යන්නේ ගොවියාටද? අනෙක් එළවලු ගත්තත් නිෂ්පාදන වියදම වගේ 5 ගුණයකට එහා ගිය විකිණුම් මිලක් තියනවා. එකේ අනිසි ප්‍රතිපල ගොවියාට අවබෝධයක් නැති නිසා ගොවින් හරිම කැමති තමන්ගේ අස්වැන්නේ මිල අසීමිත විදියට වැඩි වෙනවට. එකෙන් වෙන්නේ ඊලග කන්නයේ වෙලදාපොල මිල නිෂ්පාදන වියදමටත් වඩා අඩු අගයක් දක්වා පහල බහින අවස්ථා ඇති වෙන එක. ඒ වගේම මිනිස්සු හිතනවා ගොවියා නගා සිටුවන්න අස්වනු මිල ඉහල යවන එක හොදයි කියලා නමුත් එක පාරිබෝගිකයාට බලපාන ආකාරය ගැන කවුරුත් හිතන්නේ නෑ. ඒ වගේම ඒ මිල ඉහල යාම නැවතත් ගොවියාට වක්‍ර ආකාරයකින් බලපාන බව කිසි කෙනෙක් තේරුම් ගන්නේ නෑ. එකම අවුරුද්ද තුල එකම බෝගයේ මිල ඉහාල මිලකට සහ පහල මිලකට අලෙවි වෙනවා. ගොවියාට ලැබෙන්නේ මෙහි සාමාන්‍ය ලාබයක්මන් පොඩ්ඩක් එක සරලව පැහැදිලි කරන්නම්.

  • මිරිස් ගොවියෙක් අක්කරයක මිරිස් වගා කර අස්වැන්න වෙළදපොලට ඉදිරිපත් කරනවා යයි සලකා මෙය සකස් කර ඇත.
  • අක්කරයක අස්වැන්න කිලෝ 8000 ලෙස උපකල්පනය කරයි
  • මිරිස් කිලෝ එකක මිල රුපියල් 800 ලෙස සලකා ඇත

පළමු කාර්තුවේ මිරිස් වලින් ලැබෙන ආදායම – 8000 * 800

=6,400,000

  • දෙවන කාර්තුවේ මිරිස් මිල රුපියල් 100 දක්වා අඩු වේ යැයි උපකල්පනය කර ඇත

දෙවන කාර්තුවේ මිරිස් වලින් ලැබෙන ආදායම – 8000 * 100

= 800,000

නමුත් ගොවියාගේ මුළු අස්වැන්න සාමාන්‍ය මිලක් ගත්තොත් ගොවියාට කිලෝ එකක් සඳහා රුපියල් 450ක සාමාන්‍ය මිලක් තමා ලැබිලා තියෙන්නේ. නමුත් එක කාර්තුවක අසීමිත ලාබයක් ලැබෙන්නත් අනෙක් කාර්තුවේ සාමාන්‍ය ලාබයක් ලැබෙන්නත් හේතුව වෙළඳපොලේ මිල අසීමිත ලෙස ඉහල යාමයි. මෙය පාරිබෝගිකයාට කෙලින්ම බලපාන කාරණයක්. නමුත් කිලෝ එකක් 450ක මිලක් කියන්නේ ගොවියාට සහ පාරිබෝගිකයාට දෙදෙනාටම දැරිය හැකි මිලක් ( නමුත් මේ මිලත් අසාධාරන මිලක් කියන එක තමා අපගේ මතය. නිෂ්පාදන වියදම වගේ 5 ගුණයක් ගත්තත් මිරිස් කිලෝ එකක සාමාන්‍ය මිල රුපියල් 150 ට වඩා අඩුයි) අනෙක් කාරණය තමා මිරිස් කිලෝ එක රුපියල් 1,000 වගේ මිලකට අලෙවි වෙනකොට වියලි මිරිස් සැකසීම සම්පුර්ණ නවතිනවා. එකට හේතුව තමා වියලි මිරිස් කිලෝ එකකට අමු කිලෝ 5ක් අවශ්‍යයි කියල හිතුවත් වියලි මිරිස් කිලෝ එකක මිල රුපියල් 5,000 වටිනාකමක් වෙනවා. ගොවීන්ට ඇත්තෙන්ම මිලේ ඉහල යාම ප්‍රීතියට කාරණයක් උනත් ලංකාවේ මිලෙහි හැසිරීම ඉතාම අත්තනොමතිකයි. මිරිස් කිලෝ එකක මිල රුපියල් 100 ක් උනත් ගොවියකුට ලක්ෂ 5කට වඩා ආදායමක් ලැබෙනවා අවුරුද්දකට දෙපාරක් මිරිස් වගා කරනවා කියල හිතුවොත් අවුරුද්දේ මුළු ලාබය ලක්ෂ 10 ක් ඒ කියන්නේ මාසෙක ශුද්ධ ලාබය රුපියල් 83,333.

නිකමට හිතල බලන්න වී වගා ගොවියෙක්ගේ නිෂ්පාදන වියදම කියද කියලා. වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 20 පමණ වෙනවා නමුත් ගොවීන්ට රුපියල් 50 වගේ සහතික මිලක් දෙනවා කියන්නේ එක තදින්ම බලපාන්නේ පාරිබෝගිකයාට. අනෙක් කාරණය තමා වී මිල 40-50 ක් වෙනවා කියනේ නිෂ්පාදන වියදම වගේ දෙගුණයක් වෙනවා කියන එකනේ. ලෝකේ අනික් රටවල් ගත්තොත් එයාලගේ බෝග අස්වනු මිල බොහෝ වෙලාවට ඒකාකාරී මිලක තමා පවතින්නේ. නමුත් ලන්කාවේ සෑම බෝග වර්ගයක් පාහේම වගා කරත් ලංකාවේ පරිබෝජනයට ගැනීමටත් විශාල වියදමක් දරන්න වෙනවා.

අපනයන බෝග අස්වනු මිල ඉතා ඉහලයි නමුත් බොහෝ බෝග වල නිෂ්පාදන වියදම ඉතා අඩුයි (මිලට සාපේක්ෂව) ගම්මිරිස් වල නිෂ්පාදන වියදම රුපියල් 300- 350 අතර මිලක් වෙනවා නමුත් විකුණුම් මිල රුපියල් 1200 පමණ වෙන වෙලාවල් තියනවා. මේ කාලයේ අස්වනු කිලෝ එකක මිල රුපියල් 650ක් වගේ වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන වියදම වගේ දෙගුණයක්. ඇත්තෙන්ම මේ නිසා ගම්මිරිස් ගොවියන්ට දැරිය නොහැකි පාඩුවක් නෑ. ඇත්තෙන්ම අනෙකුත් කන්න බෝගයන් එක්ක සසඳන විට අපනයන බෝග වගා කරුවන්ට කිසි දවසක ආර්ථික පාඩුවක් වෙන්නේ නෑ. නමුත් අදවෙනකොට විශාල විරෝදතා රැල්ලක් කරගන යනවා සංවිධානාත්මක පිරිස් විසින්. ඇත්තෙන්ම අස්වනු මිලේ පහල යාම ගොවීන්ට තදින් බලපාන්නේ නෑ. ගම්මිරිස් මහා පරිමාන හෝ මාධ්‍ය පරිමාන වගා කරුවන් ප්‍රමාණය ලංකාවේ ඉතාම අල්පයි. වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ගෙවතු වගා මට්ටමේ වගා කරුවන්. ඔවුන්ට ගම්මිරිස් නිෂ්පාදන වියදම රුපියල් 100 වත් නොයන තරම්. නමුත් ගොවින් මැසිවිලි නගන්නේ ඔවුන්ට මිල පහල යාම ඉතා පාඩුවක් බවයි. ඇත්ත තත්වයනම් ගෝවින්ද පාඩුවකට වඩා අසාධාරනයක් වෙනවා. ඒ තමා ලෝක වෙලදපොලේ ලංකාවේ ගම්මිරිස් මිල රුපියල් 2000 විතර වෙනකොට ලංකාවේ ගොවියන්ගෙන් වෙළෙන්දන් මිලදී ගන්නේ රුපියල් 650 ක් වගේ මුදලකට. මෙහිදී ගොවීන්ට ආර්තික පාඩුවක් සිදු වෙන්නේ නෑ නමුත් යම් අසාධාරනයක් සිදු වෙනවා. අපි හැම වෙලේම ඇත්ත තත්වය කතා කරන්නන ඕනේ.

මේ දිනවල ප්‍රධානම අස්වනු මිල ඉහල යාමක් තමා පොල් කියන්නේ. පොල් ගෙඩියක නිෂ්පාදන වියදම රුපියල් 18 ක් පමණ වෙනවා නමුත් පොල් ගෙඩියක වර්තමාන මිල රුපියල් 80 – 100 අතර වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන මිල වගේ 4 -5 ගුණයක්. මෙය වගා කරුවන්ට යම් ලාබයක් උනත් පාරිබෝගිකයන්ට ඉතා අපහසු කාලයක්. ගොවින් නගා සිටුවීම සඳහා අස්වනු මිල ඉහල දැමීම ඇත්තෙන්ම අත්තනෝමතික ක්‍රියාවක්. මෙය බෝග සඳහාම පමණක් බලපාන කාරණයක් නෙමේ. කිරි නිෂ්පාදන ගත්තොත් මේ තත්වය ඉතා හොඳින් දකින්න පුළුවන්. නිලි ක්‍රමය යටතේ කිරි ලීටර් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 15- 22 අතර මිලක් වියදම් වෙනවා. සුක්ෂම ක්‍රමය යටතේ කිරි ලීටර් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 25 – 30 වියදම් වෙනවා. කිරි ගොවියා නගා සිටුවන්න කියල අද වෙනකොට කිරි ලීටර් එකක් රුපියල් 60 – 70 අතර මිලකට මිල දිලා ගන්නවා. ඒ කියන්නේ නිෂ්පාදන වියදම වගේ දෙගුණයක් හෝ 3 ගුණයකට වඩා වැඩියෙන්.සාමන්යෙන් කිරි පිටි කිලෝ එක නිපදවන්න කිරි ලීටර් 8.5ක් වගේ අවශ්‍ය වෙන්නවා ඒ කියන්නේ ලීටර් එකක් නිපදවන්න අමුද්‍රව්‍ය විදියට කිරි ලබාගන්න රුප්යල් 60 ගානේ වියදම් කරත් කිරි පිටි ග්රෑම් 400 සඳහා රුපියල් 200 මුදලක් වය වෙනවා. අනෙකුත් නිෂ්පාදන ප්‍රවාහන වියදම් සමග කිරිපිටි ග්රෑම් 400ක් සඳහා විශාල පිරිවැයක් දරන්න වෙනවා. මේය පාරිබෝගිකයාට කෙලින්ම දැරීමට සිදු වෙනවා. මේ වෙනකොට සත්‍ය වශයෙන්ම ලංකාවේ කිරි අතිරික්තයක් තියනවා. නමුත් නැවුම් එළකිරි ලීටර් එකක්.( ඇසුරුම් කල) රුපියල් 150 ට වඩා අඩුවෙන් මිලදී ගන්න නිෂ්පාදනයක් ලංකාව ඇතුලේ නෑ. මේ සඳහා කිරි ගොවියන්ගේද විශාල වැරද්දක් තියනවා. පාරිබෝගිකයා සතුටු කරන්න කියලා නිෂ්පාදන වියදම අඩු කරන්න කිරි ලීටරයක ගැනුම් මිල පහල හෙලුවොත් එක රෑකට ඔක්කොම කිරි ගොවියන් පාරට බහි. ඇත්ත තත්වේ මේක තාමා. අපේ අයට කොච්ච්චර ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නෑ. ඒ හේතුව නිසා රටේ ආර්ථිකය වගේම එයාලගේ ආර්ථිකයත් හැමදාම එකම තැන.

කෘෂි නිෂ්පාදන මිලෙහි වෙනස්වීමට ගත හැකි ක්‍රියාමාර්ග හා විසදුම්

  1. සැලසුම් සහගත වගා රටාවන්
  • මෙය සිදු කල හැක්කේ ඒ ඒ කෘෂි කාර්මික ප්‍රදේශ වල එනම් ගොවිජන සේවා බල ප්‍රදේශ වල කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් සහ ගොවීන්ගේ එකමුතුවෙන්. ප්‍රදේශයේ වගා කරන බෝග ගැන ව්‍යාප්ති නිලධාරීන් හා සමග සාකච්චා කර ගොවින් වගා කරන බෝග ගැන සැමදෙනාම දැනුවත් වෙලා එකම බෝගය අනවශ්‍ය ප්‍රමාණයට වගා නොකර සෑම බෝගයක්ම ප්‍රදේශය පුරා ව්‍යාප්ත වන ලෙස වගා කිරීම මගින් එකම අස්වැන්න විශාල ප්‍රමාන වලින් වෙළඳපොළට ලැබීම අවම කරන්නට පුළුවන්
  1. දීප ව්‍යාප්ත මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන ඉදි කිරීම
  • ලංකාවේ සෑම දිස්තික්කයකම ආර්ථික මධ්‍යස්ථාන ඉදිකර දිස්ත්‍රික්කය තුල වගා කරන අස්වනු දිස්ත්‍රික්කය තුලම සංසරණය කරවීම මගින් අස්වනු මිල ඒකාකාරී ලෙස තබා ගත හැක. එමෙන්ම ප්‍රාදේශීය මට්ටමේ කුඩා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇති කල යුතුය.
  1. අගය ඉහල දැමු නිෂ්පාදන
  • සෑම විටම අස්වනු වලින් අගය ඉහල දැමු නිෂ්පාදන සැකසීමට යොදා ගන්නේ නම් අස්වනු මිල එක්කකාරි ලෙස තබාගන්නවා වගේම වැඩි ලාබයක් උපයාගත හැක. මෙය බොහෝ වෙලාවට අපනයන බෝග සඳහා යොදාගත හැක
  1. ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුය
  • සමහර කොටස් බෝගයකින් අසීමිතව ලාබ ලබන විට සමහර ගොවියන් කන්නවත් නැතුව දුක් විදින අවස්ථා ඇත, ඒ නිසා යම් ප්‍රතිපත්තිමය තීරණයන් සඳහා ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුය.
  1. අස්වනු මිලෙහි වැඩි වීමකින් ලාබ ලබනවා වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග මගින එම ලාබය ලබා ගැනීම
  • අස්වනු වැඩි මිලකට අලෙවි කර ලැබ ලැබීම අපේ ගොවින් සෑම විටම බලාපොරොත්තු වෙන දෙයක් නමුත් ඒ වෙනුවට් අස්වනු ප්‍රමාණය වැඩි කර ගැනීම සහ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමෙන් ලාබ ලබා ගැනීමට සැලසුම් කරගත යුතුය.

මෙම කාරණය ගැන විවිධ පැති ඔස්සේ දිර්ඝව සාකච්චා කල හැකි උනත් මෙම ලිපිය මෙතනින් නැවතීමට හිතුවා. එමෙන්ම ඉදිරියේදී විවිධ බෝග වල ඇති වෙළදපොල ගැටළු සහ විසදුම් ගැන කතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව ඔබගේ අදහස් හා සැලසුම් ඇත්නම් ඒවාද සාකච්චා කරන්නට. තවද මෙම සමුහයේ සිටින සැම එක් වී සංවිධානය වුනොත් අප අතර හොද සන්නිවේදන ජාලයක් ගොඩ නගා ගනිමින් අපිට මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න පුළුවන්.

හිමිකම් සහ භාවිත කිරීමේ නියමයන්

කතුහිමිකම: © Yaya Agro (Pvt) Ltd සහ © Aswanna Ceylon Agro (Pvt) Ltd. මෙම වෙබ් අඩවිය සහ එහි පිටුවල අන්තර්ගත ඡායාරූප සහ වෙනත් සියඵ තොරතුරු Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් සතු දේපළ වන අතර ඒවා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය මගින් ආරක්ෂා කෙරේ. මෙහි විධිවිධාන සළසා ඇති පරිදි හැර, Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd. සමාගම් වල ප්‍රකාශිත ලිඛිත අවසරය ඇතිව මිස වචන, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය කරුණු ඇතුලත්ව එහෙත් ඒවාට සීමා නොවෙන පරිදි මේ වෙබ් අඩවියේ කිසිඳු කොටසක් කවර ආකාරයකින් හෝ කවර කාර්යයන් සඳහා හෝ භාවිත නොකළ යුතුය. Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් වල පූර්ව ලිඛිත කැමැත්ත ලබා නොගෙන මෙම වෙබ් අඩවියේ ඇතුළත් යම් කරුණක් භාවිත කරන්නන් විසින් පිටපත් කිරීම, වෙනස් කිරීම, විකිණීම, බෙදා හැරීම, යොදා ගැනීම, පළ කිරීම, සකස් කිරීම, ප්‍රති නිර්මාණය කිරීම හෝ අන්‍යාකාරයට භාවිත කිරීම නොකළ යුතුය.

අධ්යාපනික අරමුණු සඳහා සාධාරණ භාවිතය සඳහා වන ප්රකාශන හිමිකම් පනතේ 107 වගන්තිය යටතේ සහ 2001 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (අංක 12) යටතේ ඇතැම් ඡායාරූප භාවිතා වේ. ඔබේ ඡායාරූප වල හිමිකම් අයිතිය උල්ලංඝනය කර ඇති බව ඔබ සිතන්නේ නම් කරුණාකර අපව අමතන්න.

Close Menu
error: Content is Protected © Yaya.lk