අප ගැන

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සාක්ෂරතාවය පවතින්නේ ඉහල මට්ටමක. අපේ රටේ මුළු ජනහනයෙන් මිලියන 06 කටත් වඩා වැඩි පිරිසක්  අන්තර්ජාලය භාවිතා කරන අතර එයින් මිලියන 4.5 කට වැඩි පිරිසක් ෆේස්බුක් සමාජ ජාලයේ ලියාපදිංචි වී සිටියි. ශ්‍රී  ලාංකීය කෘෂි ව්‍යවසායකයන්ගේ ආකල්පමය වෙනසක් සමගින් කෘෂිකර්මාන්තයේ සැගවුණු විවිධ පැතිකඩයන් නිරාවරණය සදහා වෙනස් විදිහට හිතන , අලුත් අදහස් ඇති තරුණ පරම්පරාව සමුහ ගත කිරීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද “අස්වැන්න”  ෆේස්බුක් පිටුව වසර 1 1/2 කාලයක් තුල පැමිණි ගමන්මග ගැන අපි සතුටු වන්නෙමු. ලන්කාවේ කෘශිකර්මාන්තයේ දිශානතිය වෙනස් කරන්න හැකියාව තියන 64000 වඩා වැඩි පිරිසක් අපිත් එක්ක මේ වනවිට අත්වැල් බැදගෙන ඇත.

“අපිට තිබුනේ වෙනස් අරමුණක්. අපි හිතුවේ වෙනස් විදිහට. ඒ නිසාම වෙන්න ඇති ඉතා ඉක්මනින් ලංකාවේ අංක 01 වෙන්න අපිට පුළුවන් වුනේ. විවිධ තැන් වල අහුමුළු ගැන්විලා හිටපු කෘෂිකර්මාන්තයට , පරිසරයට, සතා සීපාවට ආදරය කරන ඒවගේම අපේ මුතුන් මිත්තන්ගේන් අපිට දායාද වුනු විශ්මිත කෘෂි තාක්ෂනය වර්තමාන බටහිර තාක්ෂණික මෙවලම් සමග හරි හරියට ගලපගෙන රට ගොඩනගන්න කැමති රටේ දළ දේශීය නිෂ්පාදනය සෘජුවම වැඩි කිරීමට දායක වෙන්න පුළුවන් පිරිසක් මෙහෙදී අපි සමග අත්වැල් බැදගත්තා. ඇත්තෙන්ම ඒක තමයි අපේ ශක්තිය වුනේ.” අපගේ yaya.lk වෙබ් අඩවිය සහ අස්වැන්න සමාජ මාධ්‍ය ජාලය හරහා ඕනෑම අයෙකුට තමන්ගේ කෘෂිකාර්මික දැනුම අලුත් කරගැනීමට , බෝග වගාවේදී ඇතිවන ගැටළු ක්ෂණිකව නිරාකරණය කරගැනීමට , කෘෂිකාර්මික ආයතන සම්බන්ධීකරණයට , තමන්ගේ කෘෂිකාර්මික ලිපි එළිදැක්වීමට , නිෂ්පාදකයන්ට සහ  ගැනුම්කරුවන්ට එකිනෙකා සමග සම්බන්ධවීමට වැනි කරුණු ගණනාවක් පහසුවෙන් නොමිලයේම සිදුකර ගැනීමට අවස්ථාව සලසාදී තිබෙනවා. 

අපේ රටේ කෘෂිකර්මය හා සම්බන්ධව පළවුණු පොත් පත් , සගරා සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රසිද්ධ නෑ. ඊට හේතුව මෙම නිර්මාණ එක් ස්ථානයකින් සොයාගැනීමට හෝ මිලදී ගැනීමට පවතින අපහසුතාවය. වෙනත් රටක ලියවුනු කෘෂිකාර්මික ලිපි, සගරා , පොත්පත් මිලදී ගැනීමට නොහැකි තරම්. ඉතින් මේ සදහා අපි මැදිහත් විය යුතු බවට තීරණය කළා. ලංකාවේ මෙතෙක් පළවූ සහ පළවීමට නියමිත සියලුම කෘෂිකාර්මික නිර්මාණ වල එකතුවක් සහ ලෝකයේ කෘෂි පොත් පත්වල එකතුවක් සිදුකර කෘෂිකර්ම දැනුම ගබඩාවක් නිර්මාණයට අපි මුල්ගල් තැබුවේ ඒ අනුවයි. 

අපේ රට කෘෂිකාර්මික රටක්. නමුත් රටේ දල දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මයෙන් ලැබෙන්නේ ඉතාම සුළු දායකත්වයක්. ඉතින් මෙම ක්‍රමය ඉක්මනින් වෙනස් විය යුතුයි. අපි දැක්කා සංවර්ධිත රටවල් තමන්ගේ ආහාර නිෂ්පාදන කටයුතු වලට භාවිත කරන තාක්ෂණයේ දියුණුව. අපිට හිතාගන්නවත් බැරි තාක්ෂණයක් ඔවුන් කෘෂි ක්ෂේතය සදහා භාවිතා කරනවා. drona කැමරාවක්, smart ජංගම දුරකතනයක් සහ අන්තර්ජාල සබදතාවයකින් සම්පුර්ණ ගොවිපලක් පාලනය කල හැකි මට්ටමට ලෝකයේ කෘෂිකර්මය අද දියුණු වෙලා. නවසීලන්තයේ ගවයින් 3000-4000 කිරි පට්ටියක සේවය කරන්නේ සේවකයින් 04 දෙනයි , ඔස්ට්‍රේලියාවේ අක්කර දහස් ගණනක ඇපල් වත්තක සේවකයන් උපරිම 05 දෙනයි, කාන්තාරයක් මැද ඉදිවුණු ඩුබායි වල තමයි ලෝකයේ ලස්සනම සහ වැඩිම තේමා උද්‍යාන නිර්මාණය කරලා තියෙන්නේ… කොහොමද එහෙම වුනේ…?? ශ්‍රී ලන්කිකයෙන් ලෙස අපිට වැරදුනේ කොතනද..?? චින්තනයේ වෙනසක් ඇති කල යුතුයි. සාම්ප්‍රදායික ගොවි මහතා , කෘෂි ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය කල යුතුයි. අපි විශ්වාස කරන සංකල්පය මෙයයි. ඒ සදහා පෙරමුණ ගැනීමට අපි සුදානම්. ඔබ සුදානම්ද වෙනස් වෙන්න…? මොහොතක් නැවතී සිතා බලන්න.! එන්න, ගොඩවෙන්න අපේ “යාය”ට. රැල්ලෙන් වෙන්වූ අපේම සොදුරු නවාතැනට…. 

අපගේ අරමුණු:

  • විරැකියාව සහ දුප්පත්කම තුරන් කිරීම සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් ලෙස කෘෂිකර්මාන්තයට නැඹුරු කරවීම
  • කෘෂිකාර්මික ඒකක නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා අගය එකතු කිරීම ක්‍රියාවලියට සහ අගයදාම සංවර්ධනයට රුකුලක් වීම
  • කෘෂි කර්මාන්තය මගින් රටේ දළ දේශීය නිෂ්පාදනයට ශක්තියක් වීම සහ ආහාර සුරක්ෂිතතාවයෙන් සපිරි රටක් ගොඩනැගීම

Close Menu
error: Content is Protected © Yaya.lk